Thursday, November 9, 2017

“හඳ පලුව තනි තරුව“ - නිශ්ශංක විජේමාන්න


මෙය හරිම අපූරුම කතා වස්තුවකි.  විටෙක ආදර කතාවක් මතුවී දිදුලමින් විත් ඉතිහාසයට අඟුල්පත් සොයන අයුරකි.  තව විටෙක තව පිටුවකදී  සංනිවේදනය තුලින් ගලාගෙන ගොස් ඉඩ හසර ලද සැනකින් මහා පව්වකට ගොඩ වෙන අයුරකි.  තවත් පිටුවකදී ජාති ආගම් කුල මල සියල්ල පසෙකට විසිවී ආදරය දිදුලන සෙයකි.  තව වරෙක දරිද්‍රතාවය කෙලවර සතුට සොයන සන්තානයන් එකට එක්කරන කවියකි.

මේ සියල්ල පසෙක ලා තනි තරුව තමන්ගෙම ස්ව උත්සාහයෙන් දිදුලමින් අනපේක්ෂිතව පරීක්ෂකයෙකුව තමාම සොය සොය ගමන් කරන දිවි කතර තුලදී මුණ ගැසෙන සඳ පලුව හද පලුව විවර කොට විමර්ෂනාත්මක බැල්මෙන් බුද්ධියට ඉඩ හසර විවර කර සෙයා යන ලෝකයේ සුන්දර සනිටුහන් එක් රැස් කල මංජුසාවකි.

අවසන සුන්දර කතා වස්තුව මියැදුන ඉතිහාස මානයන්  දෝතින් බදාගෙන නෙතු  හමුවන විරාමයකි. 

ජාති ආගම් කිසිත්
නොදුටු මානෙක නතුවසමබරවු දහරාව
ගලා සිතුවිලි  සැඟවආදරය නොහැඳිනුවහදක ආදරෙ සතුවතනි තරුව  ඔබ සෙවුවහඳ පලුව ඔබ සතුව

" සඳස , විරිත සහ අරුත "  -  ඇරැව්වල අනුර ගුනතිලක


පාසැල් පුස්තකාල පොතක් ලෙස අනුමත වී ඇති,  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  සංස්කෘත පිළිබඳ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහත්මාගේ පෙරවදනකින් ඔපවත් වි දිදුලන " සඳස විරිත සහ අරුත " වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිවහොත් කවිය කෙරෙහි  මහා දැනුම් සම්භාරයක් කැටිකොට ලියා මිණක් බඳු  පුස්තකයකි.


කවියට ආදරය කරන කවි සිහින දකින  සියල්ලන්නටම මෙම පොත පරිශීලනය කිරීමෙන්  සහ එමගින් ඉදිරිපත් කර ඇති  අභ්‍යාස වල යෙදීමෙන් තම දැනුම පෝෂණය කරගත හැකි වනවා මෙන්ම තමා සතු කවීත්වය තව තවත් ස්ථාපිත කරගත හැකි  වෙයි. 

අදියර 5කට  බෙදා වෙන් කරමින් ඉතා සුගමව පැහැදිලි කිරීම් කර ඇති බැවින්  එම ක්‍රමවේදයන් උකහා ගැනීම පහසුය.   

* පලමු අදියර     -         මාත්‍රා ,ගණ,කාව්‍ය දෝෂ,එළිසමය එළිවැට, අගපෙල සිඳීම, යවහහ් දොස,
                                    පුනරුක්ති දෝෂය, යතිය, මුල්ගුරු දෝෂය , සිදත් සඟරාවේ එකොලොස් මහ දෝෂ

* දෙවන අදියර  -         ඡන්දසට අයත් විරිත් සහ අදාල වෙනත් විරිත්

* තුන්වන අදියර            -         විරිතට සිව්පද ලියන ආකාරය

* හතරවන අදියර  -      එළු සඳස් ලකුණට අනුව ගී විරිත් ලියන ආකාරය

* පස්වන අදියර    -       විරිත් අනුව කාව්‍ය නිර්මාණය කිරීම

නිහතමානී බවින් යුතුව  තම දැනුම බෙදා ගන්නා අනුර ගුනතිලකයානණ් කවිය හදාරන ආධුනිකයනට ගුරුවරයෙක් මෙනි.  ඔහු විසින් නිර්මිත මෙම පුස්ථකයද එසේමය.  දැනුම බෙදාදීම කෙරෙහි ලොබ නොබඳින ඔහු වෙත රොද බඳින කවියෝ කිවිඳියෝ බොහෝය.  අනුර ගුනතිලක මහතානෙණි මෙම පුස්ථකයටද එලෙසම වන්නේය.  කවියට සිතැත්තෝ කවියට පෙම් බඳින අතර කවි සිත කියවන්න මෙම පුස්ථකයද පරිශීලනය කරන්නෝ පෙම් බඳිනු නොඅනුමානය.

තවද, " සඳස, විරිත සහ අරුත "  ග්‍රන්ථය කවිවර ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයක් වන අතර ඒ සඳහා යොදාගෙන ඇති  දැකුම්කළු වර්ණ  සහිත පිටකවරය නිමැවුමට වටිනාකමක් එක් කර ඇත. 

" සඳස, විරිත සහ අරුත " නම්වූ මෙම වටිනා  පුස්තකය උදාරතර සමාජමය මෙහෙවරක් බවත්  තව තවත් මෙවන් කටයුතු  කිරීම සඳහා දිරිය ශක්තිය ලැබේවායි මා ප්‍රාර්ථනා කරන්නෙමි.

Monday, November 6, 2017

හද කවිය

වීදියේ අපුලක් දැනී
සීතලක් ගත සිත වෙලී
පහන් කනුවට  හිස නැමී
ගුලිවුනෙමි කිසිවෙකු නැතී

හිත නලවනා සර සර හඩින්
නෙතු පිබිදුනා රහසින්
පොඩි පා තබා සෙනෙහේ මුවින්
ලංවෙන තුරා....... රැඳෙමුද තුටින්

මව් සෙනෙහසේ තනුවේ නදින්
කුල්මත්වුනත් නැති උණුසුමින්
බාලොලි කියා  නලවන හඬින්
මම මත් වුනා.......කඳුලැලි නෙතින්

රස වෑහෙනා මිහිරැති සරට
පද මුමුනමින් එන්නද සොඳට
කුරවින් ගයන ඒ ගීනදට
තාලෙට ගයා වයමුද  රසට

                                                                                                         සෙනෙහස  පිරී ඇති හද කවිය
කච කච සිමෝනා - සඳ උත්පලාවි

හරිම ලස්සන සිතුවම් මැවෙන සුරතල් අතීතයට  ඉක්මනින් දුවගෙන යන්න පුලුවන්    සුන්සුදර ළමා කතා එකතුවකි.  සිමෝනා මාවත්න්ද ඇදගෙන ඇදගෙන අතීතයටම දිවුවා. කොපමණ අතීතයට ගියාද කියතොත්ර නැවත එන්නත් ටිකක් අමාරු වුනා.

සිමෝනා හරිම දඟකාර පොඩි ළමයෙක්.  අපි හැම කෙනෙකුගේම අතීතය ඒ ආකාරයි බොහෝ විට.  සමහරවිට සිමෝනා තරම්ම දඟ නැතුවත් ඇති.  නමුත් ළමයෙකුගේ ළමා කාලය කොතරම් සුන්දර ද කියලා මේ පොත කියන විට දැනෙනවා.


අමතක කල නොහැකි සිමෝන ගැන මම මෙහෙම ලියන්නම් :

සිමෝනගෙ සුරතල් සිත
පිරිච්ච සිතුවිලි රසම රස
මගෙ හිත පුරවා ඉතිර ගියා
අතීතයේ දොර කවුලු කරා

වෙරලු කන්න ආසා හිතිලා
ටීක් ගහල දඟ කරලා
නැටුම් නටාලා ගීත ගයා
අහපු දැකපු සිතුවම් මැවිලා
මා සිටියානේ සිහින මවා

ඒ හිත ඇතුලෙන් දොර වහලා
එන්න බැරිව සිමෝන දාලා
හුස්ම නොගෙන මේ කව ලියලා
සිමෝන ගෙන පසෙකින් තැබුවා

Friday, November 3, 2017

ප්‍රබුද්ධ - මහගම සේකර

කියවා අවසන් කලෙමි එක හුස්මට ජීවිතය පිළිබඳ අත්දැකීම් සම්භාරය සරලව හා ගැඹුරුව ධර්මයට අනුකූලවම කාව්‍ය බසින් හසුරා ඇති රසවත් කාව්‍යමය කතාව.
සතුට, සැපත හා දුක ඇති තැන ධර්මයේ රස මතුව ජීවිතය කියාදෙන අපූරුම පද ගෙතුම රස බරය. නැවත නැවතත් පරිශිලනය කිරීමට සිත බල කරන නැණ පියසක් මෙන් ඔබ “ප්‍රබුද්ධ“ මය කාව්‍ය සංග්‍රහය නිතැතින්ම “ප්‍රබුද්ධ“ය.
ප්‍රබුද්ධ කාව්‍ය මට දැනුන හැටි :
ප්‍රබුද්ධය ඔහු
ජිවිතය අත්දැක
සරලව සිතා
ගැඹුරින් විශ්ලේෂණය කර
දහමට ගලපා
රසකර කවියට ගොතා
බුද්ධියෙන් විමසන්නට
ඉඩහැර ඇති
නිතැතින්ම ජිවමාන
අපූරුතම කාව්‍ය සංග්‍රහයකි
ඔබ ප්‍රබ්‍රද්ධ